නාට්‍ය හා රංග කලාව - Drama & Theatre [ලිපි අංක 01]
රූපණය හෙවත් මවාපෑමේ
කලාව
සාමාන්‍ය ජීවිතයේ දී කෙනෙක් අපව රැවටීමකට ,බොරුවකට, ලක් කරන බව පෙනී ගිය විට "ඔයා රඟපාන්න එපා " "රඟපානවද " ඕවා acting" යන ආදි වශයෙන් ප්‍රකාශ කරනවා.ඒ කියන්නේ සාමාන්‍ය ජන සමාජයේ දී මේ වචන ය අපි භාවිතා කරන්නේ බොහෝ වෙලාවට යමෙකුගේ බොරුව ,ව්‍යාජය , තේරුම් ගත් බව පෙන්වීමට .වර්තමානයේ දී නම් එහෙම. හොඳටම රඟපාන අය තමයි දේශපාලකයින් .තවත් බොහෝ අය ඉන්නවා .
.
නමුත් රඟපෑමට නැතිනම් මේ acting වලට අයිති තැන තමා වේදිකාව , සිනමාව . එහි රඟපෑම කියන්නෙත් එක්තරා ආකාරයක මවාපෑමකට, රැවටීමකට ප්‍රේක්ෂකයා ලක් කිරීමයි .ඉතා හොඳින් ප්‍රේක්ෂකයා රවටන, ඇත්ත යැයි හැඟෙන ආකාරයට චරිතය මවා පාන කෙනා තමයි දක්ෂ නළුවා. ..
ඉතිං මවාපෑමේ, රැවටීමේ,කලාව හෙවත් රංග කලාව කියන්නේ ක්ෂේත්‍ර ගණනාවක පවතින්නක් .ඒ සියල්ල අතරින් රංග කලාව ප්‍රධානම පදනම කොට ගෙන පවතින්නේ නාට්‍යය සහ සිනමාව . රංග මඩල මගින් රූපණය යන පුළුල් ගැඹුරු විෂය ගැන සාමාන්‍ය ආකාරයේ විමසීමක් කරන්නයි මේ සූදානම ...
.
නාට්‍ය හා සිනමා කලාව තුළ ඉංග්‍රීසියෙන් acting කියලා හඳුන්වන්නේ "වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමයි ". acting සදහා ඇති සිංහල වචනය රංගනය යි. රංගනය ට අමතරව රූපණය ,රගපෑම ,නිරූපණය , වැනි වචනයත් භාවිතා වෙනවා. මේ සිංහල වචන වල මුලික අදහස වන්නේත් වෙනත් පුද්ගලයෙකු නැතිනම් චරිතයක් කරලා පෙන්නනවා කියන එක . ඒ අනුව මෙම සියලු වචනවලින් කියැවෙන්නේ "යම් කිසි ක්‍රියාකාරකම් සමුදායක්, චරිතයක් ,කතාවක් ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය වීමට සැලැස්වීම" ය..
මෙහිදී රූපණය කරන්නා එනම් නළුවා සිය කටහඬත් සිරුරත් උපයෝගී කර ගනිමින් බලා සිටින්නා හෙවත් ප්‍රේක්ෂකයා තුළ කිසියම් දෘෂ්‍යාවලියක් නිර්මාණය කර ඔහු තුළ භාවමය හෝ බුද්ධිමය ප්‍රතික්‍රියාවක් ජනිත කරවීම සිදු කරයි .එවිට සිදුවන්නේ නළුවා තම පුද්ගල ස්වභාවය අමතක කොට අන්‍ය පුද්ගල ස්වභාවයක් ගැනීම ය.එහිදී ඔහු කිසියම් චරිතයකට ප්‍රවිෂ්ට වී, ආරූඪ වී , සිටින කාලය තුළ දී ඔහු කරන කියන දේ සියල්ලක්ම ඒ චරිතයට අනුකූල යැයි හැඟීමක් බලා බලාසිටින්නාට පහළ වෙනවා. ප්‍රේක්ෂකයා තුළ පවත්නා ඒ විශ්වාසය නොබිඳී පවතින අයුරින් නළුවා තම ශාරීරික කාර්ය හෙවත් රඟපෑම සිදු කරයි .ඒ අනුව රඟපෑම හි මූලික කාර්යය ලෙස "නොපෙනෙන දෙයක් පෙනෙන ලෙස දැක්වීම "යැයි ප්‍රකාශ කරන්න පුළුවන් . උදාහරණ වශයෙන් යකැදුරෙකු යකෙකු මෙන් පෙනී සිටීම .එනම් වෙන අයකු බවට පත් වී ඔහුගේ ස්වභාවය පෙන්වීමයි.අදෘශ්‍යමාන දෙය දෘශ්‍යමාන බවට පත් කිරීම (හැගීම් ) වේදිකාවේදී සිදු වේ .මෙහිදී " නළුවා නියෝජනය කිරීම හා නිරූපණය කිරීම" යන කාර්ය යේ දෙනවා .
මේ අනුව රඟපෑම යනු " නළුවා වෙන චරිතයක් බවට පත් වී එම චරිතයේ ගති ස්වභාවය ප්‍රේක්ෂකයාට පෙන්වීම " යැයි සරලව කිව හැකිය .
නමුත් රූපණය යනු යම් සංකීර්ණ ක්‍රියාවලියක් . මේ සදහා නූතනයේ විවිධ වූ රූපණ රීතීන්, විවිධ ශිල්ප ක්‍රම භාවිතය ට පැමිණ තිබෙනවා . ඒ නිසාම විද්වතුන් රංගනය ගැන විවිධ අර්ථ දැක්වීම් කරන්න පෙළඹිලා .එබැවින් රඟපෑම පිළිබඳව තවදුරටත් අවබෝධ කර ගැනීමට ඉවහල් වෙන තොරතුරු ස්වල්පයක් අන්තර්ජාලය ඇසුරෙන් හා පොත්පත් වලින් ඉදිරිපත් කරනවා .
රංගනය එනම් Acting යන්න හි අර්ථ නිරූපණය පිළිබඳව සොයා බැලීමේ දී මුලින්ම Merriam webster වෙබ් පිටුවේ ඇති අදහස වෙත යොමුවෙනවා. එහි දක්වා ඇත්තේ ..
"Tha art or practice of representing a character on a stage or before camaras"
"කැමරාවක් ඉදිරිපිට හෝ වේදිකාවක් මත චරිතයක් නිරූපණය කිරීමේ කලාව හෝ පුහුණුව " රඟපෑම ලෙස ය .
එමෙන්ම
Oxford dictionary හී මේ පිලිබඳව ප්‍රකාශ වන්නේ ..
"Temporarily doing the duties of a another person"
"තාවකාලිකව වෙනත් පුද්ගලයෙකුගේ කාර්ය ඉටු කිරීම " ලෙසය .
ප්‍රකට ස්පාඤ්ඤ ජාතික නාට්‍යය රචකයෙකු වූ lope de vega රංගනය කාර්ය විස්තර කරන්නේ.. .."රංගනය යනු මානවයන් දෙ දෙනෙක් ,මානව භාවයක් සහ වේදිකාවකි "..යනුවෙන් ය.
එනම් " රංගනය යනු වේදිකාවක් මත මානවයන් දෙදෙනෙකු අතරේ සිදුවන අතිශය භාවපූර්ණ සංග්‍රාමය කි ".ලෙසය.
චන්ද්‍රසිරි පල්ලියගුරු යථාර්ථය සහ නිර්මාණය නම් ග්‍රන්ථයේ රූපණය සම්බන්ධ නිර්වචන, ප්‍රකාශ , කිහිපයක් ම ඉදිරිපත් කරනවා ....
1."රූපණය යනු චරිතයක් මගින් ප්‍රේක්ෂකයා තුළ විශ්වාසයක් ඇති කරවීම ".
2."රූපණය යනු දෛනික ජීවිතයේ දී මිනිසුන් අවිඥානිකව කරන කියන දේ වේදිකාවේ සවිඥානික ව සිදු කිරීම ".
3."භූමිකා රූපණය ක දී නළුවා තම පෞරුෂය ඉවත දමා වෙනත් අයෙකුගේ පෞරුෂයක් ආරෝපණය කොට ගෙන එම ආරෝපණය සත්‍යයක් ලෙස ප්‍රේක්ෂකයාට පෙනෙන්නට සැලැස්වීමයි ".
4."රූපණ කලාව යනු ඉදිරිපත් කරන චරිත හා අවධිය නිර්මාණය හා ගැළපෙන පරිද්දෙන් ස්වාභාවිකත්වය හා යථාර්ථය පිළිබඳව මායාවක් ඇති කෙරෙන සේ ඉදිරි පත් කෙරෙන්නකි" .(Edward A.Wright )
යන ආදි වශයෙන් ය.
අමරනාත් ජයතිලක "රඟපෑම " නම් ග්‍රන්ථයේ රඟපෑම අර්ථ දක්වා ඇත්තේ මෙසේ ය .
"අංග ප්‍රත්‍යාංග ඇසුරු කොට දක්වන ඉංගිත නොහොත් එබඳු හැසිරීමේ අවස්ථා රඟපෑමේ මූලික පදනමයි .එනම් හැම අභ්‍යන්තරික හැඟීමක් ම සිරුරෙන් ප්‍රකාශ විය යුතු බැවිනි .රඟපෑමේදී ද එහි අර්ථකථනය - තේරුම - හැඟවෙන්නේ ක්‍රියාව තුළිනි ".
1984 වර්ෂයේ දී සීමාසහිත ඇම්. ඩී . ගුණසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නෝබට් ජයවර්ධන ගේ "නිරූපණය "යන කුඩා ග්‍රන්ථයේ ඔහු රඟපෑම හැමවිටම හඳුන්වා ඇත්තේ නිරූපණය ලෙස ය .ඒ අනුව නිරූපණය හෙවත් රඟපෑම යනු කුමක්දැයි ඔහු තම ග්‍රන්ථයෙන් මෙසේ ප්‍රකාශ කරයි ..
"නිරූපණයෙහි සත්‍ය ඇදහිල්ල නම් රචකයා ගේ ප්‍රබන්ධයෙන් චරිතයක් තෝරාගෙන නිරූපකයා විසින් එහි තරාතිරම, හැඩ රුව ,ගතිගුණ, චරිත ලක්ෂණ ,ආදියත් රචකයන් චරිතයට පවරා ඇති කාර්ය ,එහි අරමුණු , අනිත් චරිත හා පවත්වන සම්බන්ධය ,අසම්බන්ධ ය ,නරඹන්නාට ඉන් දෙන පණිවිඩය ආදී කී නොකී සියල්ල හොඳින් වටහා ගෙන , තම අත්දැකීම් ,හැඟීම් ,සිතුවිලි ආදිය හා ගහණ වූ තම පෞද්ගලිකත්වය එම චරිතයෙහි රුවා ,ප්‍රේක්ෂකයාට එම චරිතය තාත්වික බවින් ඉදිරිපත් කිරීමය .ඉන් තොර වූ නිරූපණයක් හෝ නළු බවක් හෝ නැත ."
ඒ.වී.සුරවීර ගේ සාහිත්‍යය විචාර ප්‍රදීපිකාවේ .රඟපෑම පිළිබඳ ව දැක්වෙන්නේ ..."විවිධ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් කතාව ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රදර්ශනය වීමට සැලැස්වීම රූපණය " ලෙසය .
"රඟපෑම යනු මානුෂික හැඟීම් ශාරීරික ක්‍රියාවලියක් බවට පත් කිරීමයි "...යනුවෙන් රඟපෑම පිළිබඳව ප්‍රකට කියමනක් ද වේ.
රඟපෑම පිළිබඳව ඉහතින් ඉදිරිපත් කළ මෙම අදහස් සියල්ලක් ම පාහේ කැටි වූ රූපණය වඩාත් විද්‍යාත්මකව ප්‍රකාශ වන රූපණ රීතියක් දහනව වන ශත වර්ෂයේ රුසියාවේ කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කි නම් රූපණවේදියා විසින් ගොඩ නඟනු ලබනවා .එය හැඳින්වූයේ method acting නමින්...ස්ටැනිස්ලාව්ස්කිගේ මෙම රූපණ විධික්‍රම යේ පදනම ලෙස සැලකෙන්නේ " හැඟීම් හා අන්තර් ඥානය තුළින් ආවේශය ඔස්සේ චරිතයක සත්‍ය බාහිර හා ආත්මීය ජීවිතය සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමෝපාය " ය . එනම් "අත්විඳීම හා නිරූපණය " යි .ඒ අනුව නළුවා චරිතයක අභ්‍යන්තරය ට පිවිසි ඒ ඒ චරිත වලට අදාළ හේතු කාරණා තේරුම් ගෙන චරිතයට ආවේශ විය යුතු ය .එමෙන්ම නලුවා බුද්ධිමය වශයෙන් පරිකල්පනයෙන් නිරීක්ෂණයෙන් හා අත්දැකීම් වලින් සිය චරිතය පෝෂණය කර ගත යුතු බව ද ස්ටැනිස්ලාව්ස්කි ප්‍රකාශ කරනවා .
රූපණය පිළිබඳ ව ඉහත අදහස් වලට ද විශේෂයෙන් ම ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ ක්‍රමයට පටහැනිව රූපණ කාර්යය වෙනස්ම අයුරකින් ඉදිරිපත් කල නාට්‍යකරුවා වූයේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ය. ඔහු රූපණ කාර්යය සිදු විය යුතු වෙනස් ආකාරයක් පෙන්වා දුන්නේය .
"නළුවා චරිතයකට ආවේශ වෙනවා වෙනුවට නළුවා විසින් බුද්ධිමත් ලෙස ඒ චරිතය හැසිරෙන ආකාරය වටහා ගෙන පොදු සමාජ අභිනයන් පිළිබදව පිළිබඳව අවබෝධයෙන් යුතු ව අවස්ථානුකූලව මතු වන හැඟීම් නිරූපණය කළ යුතුය .එහිදී බොහෝ සෙයින් සිදුවන්නේ කථනය සහ නිරූපණය යොදාගැනීමය. ප්‍රේක්ෂකයින් මෝහනය නොවන ලෙස චරිතය රඟපෑම සිදු කළ යුතුය. ඒ නිසාම නලුවා ට තාත්වික නොවන අභිනයන් පෑමටද ඇතැම් විට සිදුවේ..
මෙලෙස රූපණය පිළිබඳ ව විවිධ අර්ථකථන ,පැහැදිලි කිරීම් ඉදිරිපත් ව ඇත්තේ එය අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවිනි .නළුවා හෝ නිළිය ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙනී සිටින්නේ සිය ආත්මය ,හඬ සහ අභ්‍යන්තර හා බාහිර වශයෙන් ඒකාත්මික වූ පෞරුෂයක් ගොඩ නගා ගනිමින් ය .විශේෂයෙන් ම නළුවා ස්වීය පෞරුෂය අතහැර දමා වෙනත් පෞර්ෂයක් ආරෝපනය කර ගැනීම නිසාම ඇති වන අපූර්ව භාවය ප්‍රේක්ෂකයා රංගය කෙරෙහි ආකර්ෂණය වීමට හේතු වේ .
ඒ අනුව නළුවා නාට්‍ය පිටපතේ ඇති චරිත බවට පත් වී ප්‍රේක්ෂකයාගේ විශ්වාසය තහවුරු වන ආකාරයට චලනය ,අභිනය හා උච්චාරණ විධි භාවිතා කරමින් සිදු කරන කාර්යය රූපණය වේ.
උපුටා ගැනීමකි!
No comments:
Post a Comment